2016 ඔක්තෝබර් 24 වන සඳුදා

කටින් වේදිකා හැදීම

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 94

දේශපාලනයට කට නැතුවම බැරිය. කට නිසා ඇතිවන දේශපාලනඥයන් සේම නැතිවන දේශපාලනඥයෝද වෙති. කට නිසා දේශපාලනයට නැතුවම බැරි ජනප්‍රියකම ලැබෙයි. හොඳ කටක් ඇති ඒ නිසාම ජනප්‍රිය වන දේශපාලනඥයෝ මේ නිසා ගොඩය. නමුත් කට වරද්දා ගැනීම නිසා තිබෙන ජනප්‍රියකමත් නැතිවී, ඉන්න තැනින්ද පහළ වැටුණු චරිතද නැතුවා නොවේ. හැබැයි මේ තියරිය ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ දෙවිදියකටය.  දකුණේ මේ කාලයේ ජනප්‍රිය වීමට නම් උතුරේ දේශපාලනඥයන්ගේ ජාතිවාදී කතා සහ වැඩවලට එරෙහිව කට පාවිච්චි කළ යුතුය. උද්ඝෝෂණ සංවිධාන කළ යුතුය. මාධ්‍ය සාකච්ඡා තබා එවැනි කතා කියන නායකයන්ගේ ඔවුන්ගේ ආධාරකරැවන්ගේ පතුරැ ඇරිය යුතුය. උතුරේ හමුදා කඳවුරැ ඉවත් කළත් නැතත් ඒවා ඉවත් කරන බව ප්‍රකාශ කිරීමත් අවශ්‍යය. මේ හදන්නේ රට බෙදීමට බවත් ෆෙඩරල් යනු භයානක බිල්ලකු බවත් සඳහන් කළ යුතුය. 


උතුරේ ජනප්‍රිය වීමට නම් දකුණේ රජයට නායකයන්ට එරෙහිව හැමවිටම කට ඇරීම අවශ්‍යය. කතා කරන හැම විටම දකුණේ නායකයන් තමන් නියෝජනය කරන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබානොදෙන බව කිව යුතුය. උතුරේ ඇති හමුදා කඳවුරැ ඉවත්කර ගත යුතු බවත්, දෙමළ ජනතාවගේ ඉඩකඩම් ආපසු ලබාදිය යුතු බවත් කීම අවශ්‍යය. උතුරැ නැගෙනහිර ඒකාබද්ධ කර ෆෙඩරල් ක්‍රමයක් යටතේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය ලබාදිය යුතු යැයි කීමත් අත්‍යවශ්‍යය.


මේ යළිත් කියැවෙන ජනප්‍රිය දේශපාලන සටන් පාඨ ශ්‍රී ලංකාව යළිත් ඇදගෙන යන්නේ අන්තවාදී දේශපාලනයකට බව කාට හෝ හැඟුණොත් පුදුම වීමට දෙයක් නැත. තිස් වසරක කුරිරැ යුද්ධයක ශාපයෙන් රට මුදාගැනීමෙන් පසුව දේශපාලන නායකයන් කෙසේ වෙතත් බහුතර ජනතාව නම් එවන් අන්තවාදී දේශපාලන තත්ත්වයකට රට යළි ඇදී යනවාට කැමැත්තක් නැත. මේ බව උතුරේදී අපට හමුවන සාමාන්‍ය ජනතාවගේත් දකුණේ අපට මුණගැසෙන සාමාන්‍ය ජනතාවගේත් අදහස් විමසීමෙන් සනාථ කරගත හැකිය.


නමුත් ඒ සමඟ කිව යුත්තේ ඔවුන් ආපසු හරවා ගැනීමට පාවිච්චි කළ යුත්තේ &කට* පමණක් බවය. විග්නේෂ්වරන් පසුගිය සෙනසුරාදා දෙමළ ජනතාවට නැගිටින්නැයි හොඳින් &කට* ඇර කිව්වේය. විග්නේෂ්වරන්ගේ කටින් කියැවුණු බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම, ෆෙඩරල් කතාව, ස්වයං තීරණය ගැනීමේ අයිතිය, උතුරැ නැගෙනහිර එකතු කිරීම සහ උතුරෙන් හමුදා කඳවුරැ ඉවත් කර ගැනීම යන අන්තවාදී අදහස් පසෙකට දමා ඔහු කියූ සෙසු අදහස් ගැන අවධානය යොමු කළොත් ඔහු කියන්නේ උතුරේ සෙසු නායකයන් කියන කරැණම බව වටහා ගත හැකිය. වෙනසකට තිබුණේ ඔහු තම අදහස් ප්‍රකාශ කිරීමට දමිළ ජනතාව සහභාගි කරවාගත් ආකාරයයි. ඔවුන් තුළ උද්යෝගය ජනිත කරවීමට භාවිත කළ කතා විලාශයයි. සෙසු දෙමළ නායකයන් ඊට සම්බන්ධ කරගැනීමට වක්‍රව ගනු ලැබූ පියවරයි. අවසානයේ දැකගත හැකිවූයේ උතුරේ දෙමළ නායකයන් වන සම්පන්දන් සහ සුමන්තිරන් හැරැණු විට සෙසු නායකයන් &එලගු තමිල්* සමඟ එක්ව සිටි බවය. ඩග්ලස් දේවානන්දට පමණට එම විරෝධතාවට එක්වීමට අවස්ථාව ලබා නුදුන් බවය.


&එලගු තමිල්* විරෝධතාව සංවිධානය කිරීමෙන් ජනතාව ඊට පෙළඹවීමෙන් සහ සෙසු ටී.එන්.ඒ. දේශපාලනඥයෙන් එකතු කර ගැනීමෙන් විග්නේෂ්වරන් පැහැදිලිව ලබාදී ඇති සංඥාව වන්නේ තමා තවදුරටත් &සංහිඳියාව* පිළිබඳව විශ්වාසය නොතබන බවය. යාපනයේ දුරේඅප්පා ක්‍රීඩාංගණයේදී පසුගිය බ්‍රහස්පතින්දා (29) ආරම්භ කෙරැණු ජාතික මහා ක්‍රීඩා සමාරම්භක උළෙල වර්ජනය කිරීමෙදන් විග්නේෂ්වරන් ඉඟි කර ඇත්තේ එයම බව පැහැදිලිය.


වරක් විග්නේෂ්වරන් යාපනයේදී මේ ලියුම්කරැට මුණගැසුණේය. ඒ මීට වසරකට පෙර නොවැම්බර් මාසයේ දවසකය. යාපනය සහ රටේ සෙසු දේශපාලන කාරණා රුසක් පිළිබඳව විවෘත මනසකින් එදා කතාකළ විග්නේෂ්වරන් ජාතික සංහිඳියා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස විමසූ විට පැවසුවේ එම වැඩපිළිවෙළ අවශ්‍ය බවය. එය ඉදිරියට ගෙන යායුතු බවය. එදා එහෙම කියූ විග්නේෂ්වරන් වසරකට පසුව සංහිඳියා වැඩපිළිවෙළට පස්ස හරවන්නේ ඇයි? එයට පිළිතුරැ ඇත්තේ උතුරේත් දකුණේත් කටින් සිදුකරන දේශපාලනය තුළය.


උතුරේ ජනතාවගේ දේශපාලන නායකයා වීමට ඔහු තුළ එදා සිටම අදහසක් තිබූ බවට සැකයක් නැත. ටී.එන්.ඒ. නායකත්වය ගැන ඔබේ බලාපොරොත්තුවක් ඇති දැයි අප විමසු විට ඔහුගේ පිළිතුරැ වූයේ &චී...චී...චී...* යන්නයි. නමුත් කොළඹ හැදී වැඩී අධ්‍යාපනය ලබා වෘත්තිය මට්ටමින්ද ඉහළට ගිය විග්නේෂ්වරන් යාපනයට පා තැබුවේම කෙළින්ම ප්‍රබල දේශපාලන භූමිකාවකට පණ පොවමිනි. ටී.එන්.ඒ. ආරාධනයෙන් මහ ඇමැති ධූර අපෙක්ෂකයා වූ ඔහු උතුරේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වුවද දේශපාලන අත්දැකීම් නොතිබිණි. මේ නිසාම. ඊළඟ පියවරට යාමට නම් සිංහල දෙමළ ජනවාර්ගික විරසකය ප්‍රයෝජනයට ගත හැකි හොඳම ආයුධය බව ඔහුට නොසිතුණා නම් පුදුමය. උතුරේ දෙමළ ජනතාවට බලපාන්නාවූ ගැටලුවලට තමන්ගේ මට්ටමින් දිය හැකි විසඳුම් ලබාදීමට ඔහු කිසිදු උනන්දුවක් නොදැක්වීම එයට තවත් හොඳම උදාහරණයකි. 


රජයෙන් තමන්ට සිදුවන කෙණෙහිලිකම් ගැන ඔහු ඇතිතරම් පැමිණිලි  කළේය. තමන් හමුවීමට පැමිණෙන විදෙස් රාජ්‍ය අමුත්තන්ට පමණක් නොව ඉන්දියාවට ගොස් තමන්ට මුණගැසුණු එහි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ටද විග්නේෂ්වරන් කිව්වේ නොකෙරෙන දේවල් ගැන පමණි. ඔහු එසේ කළේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්‍රඅතට හැරෙන විට එහි වාසිය තමන්ට ලබාගැනීමට බව පැහැදිලිය. මේ තත්ත්වයට උතුරේ සම්පන්දන් ඇතුළු සෙසු දේශපාලන නායකත්වයේ &කම්මැලිකමද* ලොකු හේතු සාධකයක් වූ බවත් පැහැදිලිය. 


උතුරේ අසහනයට පත් ජනතාව පමණක් නොව අන්තවාදී අදහස් දරණ දේශපානඥයන්ගේද සහාය ඇතිව විග්නේෂ්වරන් මේ සටනට අවතීර්ණ වූයේ හොඳින් කාලය මැන බව පෙනෙන්නට තිබේ. විරෝධතා දැක්වීමට මේ කාලය නොවේ යැයි ටී.එන්.ඒ. නායකයන් පවසද්දී විග්නේෂ්වරන් දැන් තමයි සුදුසු කාලය යනුවෙන් තීන්දුව ගත්තේ දකුණේ දේශපාලනය දෙස බලාගෙන බව පැහැදිලිය. 


දකුණේ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම දැඩි ජාතිවාදී ස්ථාවරයක පිහිටා සිටිමින් සිය දේශපාලන සටන ගෙනයන බව හොඳින් පෙනෙන්නට තිබේ. උතුරේ ඊළාම් කොඩි, හමුදා කඳවරැ ඉවතට, දෙමළ සිරකරැවන් නිදහස් කරනවා, ඔන්න රටබෙදනවා ෆෙඩරල් දෙනවා වැනි ප්‍රචාර සිදුකරමින් මාධ්‍ය සාකච්ඡාවලදී එකී කරැණුම උළුප්පා දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යළිත් ආණ්ඩුවක් ගන්නා බවට සිදුකරන ප්‍රකාශ  වලින් විග්නේෂ්වරන්ද සටන් පාඨ උකහාගත් බව පැහැදිලිය. ඒ අනුව උතුරේත් දකුණේත් දෙකේම දැන් අන්තවාදී දේශපාලන වේදිකා නිර්මාණය වෙමින් පවතින බවත් ඒ වේදිකා දෙකේම තිරය පසුපස නායකත්වයට සහ බලය ඇල්ලීමට සිදුකරන ඉව ඇල්ලීමක් තිබෙන බවත් පැහැදිලිය. මේ දෙපාර්ශ්වයම සිදු කරන්නේ උතුරේත් දකුණේත් ජනතාවගේ සිත් තුළ සංහිඳියාව කෙරෙහි තිබෙන විශ්වාසය දුරැකිරීමට කටයුතු කිරීමය. ඒ ගැන සැකයක් ඇති කිරීමය. තමන්ගේ දේශපාලනයේ පෞද්ගලික ජයග්‍රහණ ඇත්තේ එතැන යැයි ඔවුන් සිතන බවක්ද පෙනෙන්නට තිබේ. 


ඇත්තට එවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නම් ආණ්ඩුවත් ටී.එන්.ඒ. නායකයනුත් එම තත්ත්වය දුරැකොට ඉතා අපහසුවෙන් ජයගත යුතුව තිබෙන සංහිඳියා ඉලක්කය ජයගැනීමට අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යය. උතුරේ මෙන්ම දකුණේද දේශපාලන භූමියේ ජාතිවාදය යන්නට ලොකු ඉල්ලුමක් තවමත් පවතින බවත් දැන කටයුතු කිරීම ආණ්ඩුවේ ඉදිරි ගමනට අත්‍යාවශයම සාධකයක් වී තිබේ. 


මේ අතර උතුරේ දේශපාලනය පිළිබඳව ස්වාධීන විමර්ශකයකු ප්‍රකාශ කර තිබුණේ  රාජපක්ෂ රජයේ පරාජයෙන් පසුව විවෘත වූ දේශපාලන අවකාශය තුළින් නිසි ප්‍රයෝජන ගැනීමට සිරිසේන/ වික්‍රමසිංහ රජයත් ටී.එන්.ඒ./ අයි.ටී.ඒ.කේ. පක්ෂයත්  අසමත්ව සිටින බවය. ඔහු සඳහන් කර තිබුණේ උතුරේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමේ අරමුණින් ඇතිකරගන්නට තිබූ දේශපාලන සංවාද සහ විසංවාද වෙනුවට කොළඹට පමණක් සීමා වූ විශේෂඥ කණ්ඩායම් කීපයක සාකච්ඡා මණ්ඩපයක් පමණක් ඇති වූ බවයි. කොළඹ දේශපාලන බලාධිකාරියේ සම්පූර්ණ අවධානය රාජපක්ෂ යළි සක්‍රීය දේශපාලන භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා යෙදැවෙන විට රාජපක්ෂ වටා සිටින ජාතිකවාදී බලවේගවලටත් උතුරේ එක්රුස් වන අන්තවාදී බලවේගවලටත් දැනට රට තුළ ඇතිවෙමින් පවතින සාමය සහ සංහිඳියා වැඩපිළිවෙළ පැත්තකට තල්ලු කර දැමීමට අවශ්‍ය පුළුල් අවකාශයක් නිර්මාණය වනබව ඔහුගේ අදහසය.


මේ වාතාවරණය රජය අරමුණු කරගෙන සිටින නව ව්‍යවස්ථාවක් ඇතිකොට රටේ ජාතික ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ පීලි පන්නන තත්ත්වයක් දක්වා විහිදීමට ඉඩ තිබේ. නව ව්‍යවස්ථාවක් තමන්ගේ යෝජනාද ඇතුළත් කොට නිර්මාණය වුවහොත් එය ජනමත විචාරණයකට යොමු වූ විට උතුරේ බහුතර ජනතාව විසින් පිළිගනු ඇතැයි යන්න ටී.එන්.ඒ. විශ්වාසය වී තිබේ.

නමුත් එවැනි විශ්වාසයක් රජය තුළ පවතින්නේද යන්න තවම කීමට අපහසුය. විශේෂයෙන්ම දකුණේ ජනමතය හැසිරවීමේදී බුද්ධියට වඩා හදවත ආමන්ත්‍රණය කරන නායකයන්ට කළ හැකි බලපෑම ගැන රජයට හොඳ තක්සේරැවක් තිබීම ඊට හේතුවය.


විග්නේෂ්වරන්ගේ ප්‍රකාශවලට එරෙහිව ටී.එන්.ඒ. විරැද්ධත්වය ප්‍රකාශ කළේ එම්.ඒ. සුමන්තිරන් මහතාය. සම්පන්දන්ද ඔහු සමඟ සිටි බව සත්‍යයක් නමුත් සෙසු දේශපාලනඥයන් එවැනි විරෝධයක් දැක්වූයේ නැත. නමුත් දකුණේ තත්ත්වය ඊට වෙනස් විය.

ආණ්ඩුවේත් ඒකාබද්ධ විපක්ෂයේත් නායකයන් ඊට ප්‍රබල විරෝධයක් දක්වා තිබුණි. දැඩි ලෙසම ඊට විරැද්ධ වෙමින් තම මතය දැක්වූ උදය ගම්මන්පිල ප්‍රකාශ  කළේ තමන් විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නා තුරැ බලා සිටින බවය. ඔහු වෙනම රටක් ඉල්ලා ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු සමඟ විමල් වීරවංශද විග්නේෂ්වරන් කළ ප්‍රකාශ තම දේශපාලන අරමුණුවලට පණ පෙවීමට හොඳින්ම යොදාගත් බව පැහැදිලිය. විග්නේෂ්වරන් ඔසොවා දුන් බෝලයට මේ දෙදෙනාත් ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පිරිසත් මුළු වැර යොදා &ඩෑෂ්* පහර එල්ල කරන බව පැහැදිලි විය. නමුත් එය විග්නේෂ්වරන්ගේ න්‍යායපත්‍රයේ එක් බලාපොරොත්තුවක් ඉටුකිරීමක් වීම වැළැක්විය නොහැක. 


යූ.එන්.පී. මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසුවේ උතුරේ මහ ඇමැති ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සහ ඔහුගේ ප්‍රකාශය තමා පිළි නොගන්නා බවය. ඔහු කළ ප්‍රකාශයේ කිසිදු සාධාරණයක් නැති බවත් ඒ ගැන තමා කනගාටු වන බවත් ඔහු කීය.


මේ අතර ශ්‍රීලනිපය විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශ තරයේ හෙළා දකින බව නිමල් සිරිපාල ද සිල්වා ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශ ඉල්ලා අස්කරගත යුතු බවත් රටේ ජාතීන් අතර සංහිඳියාවක් ඇතිකිරීමට ජාතික ආණ්ඩුව මැදිහත්ව සිටින අවස්ථාවක උතුරේ මහ ඇමැතිගේ ජාතිවාදී ප්‍රකාශ වලින් දකුණේ ජාතිවාදීන්ට උඩගෙඩි දීමක් සිදුවන බවද ඔහු සඳහන් කළේය. ජාතික හෙළ උරැමය පැවසුවේ විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාව යළි නන්දිකඩාල් කලපුව දෙසට තල්ලු කළ බවය.


විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයත් සමඟ උණුසුම්ව ගිය රටේ දේශපාලන කරළිය තවමත් එම රස්නයෙන් මිදී නැත. නමුත් විග්නේෂ්වරන් ඉන් පසුව දැඩි නිහඬ බවක ගිලී ගියේය. ඒ සමඟ දකුණේ ඇතැම් මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය දෙස නොව ඔහුගේ ප්‍රකාශය තුළ සඳහන් වන කරැණු කීපයක් කෙරේ රටේ අවධානය යොමු විය යුතු බවය. දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි විචාරාත්මකව බැලිය යුතු බවද ඔවුහු කියති. විශේෂයෙන්ම ෆෙඩරල් සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ පවතින අවිශ්වාසය සහ සැකය දුරැ කිරීමත් ඒකීය වචනය සම්බන්ධයෙන් උතුරේ ජනතාව තුළ පවතින දුර්මතය හා සැකය දුරැකිරීමත් අවශ්‍ය බවත් සැබෑ සංහිඳියාවක් ඇති කළ හැක්කේ ඒ අනුව බවත් ඔවුන්ගේ මතය වී තිබේ. නමුත් තවත් පිරිසකගේ අදහස වන්නේ සංහිඳියා වැඩපිළිවෙළ තුළ රජය මගින් මෙතෙක් ඉදිරියට තබන ලද පියවර අමතක කර දමා හැකි ඉක්මණින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සහ ස්වයංපාලන ඉල්ලීමක් සිදු කිරීමත් උතුර සහ නැගෙනහිර එකතු කළ යුතුයැයි ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් කිසිසේත් පිළිගත නොහැකි බවය.


මේ අතර ඒකාබද්ධ විපක්ෂය මගින් ලබන 8 වැනිදා සංවිධානය කර ඇති රුස්වීම පිළිබඳව ශ්‍රීලනිපය තුළ යම් ආන්දෝලනයක් හටගෙන තිබේ. එහිදී අලුතින් පිහිටුවන පක්ෂයක් හෝ ජන බලවේගයක් පිළිබඳව ප්‍රකාශ වෙනු ඇතැයි සමහරැ අපේක්ෂා කරති. නමුත් අලුත් පක්ෂයක් පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළම මතභේද හටගෙන තිබෙන බව පෙනේ. එම රුස්වීම සංවිධානය කරන පවිත්‍රා තදින්ම වෙනම පක්ෂයක් හෝ පෙරමුණක් ගැන බලාපොරොත්තු තබා ඇති බවත් පෙනී යයි. ප්‍රසන්න රණතුංගද එම අදහසේ දැඩිව සිටින බව පෙනේ.


එසේවුවද මුලින් එවැනි ස්ථාවරයක සිටි කුමාර වෙල්ගම වැනි කීපදෙනකුගේ අදහස වී තිබෙන්නේ ශ්‍රීලනිපය තුළ රුඳී සිටිමින් තම සටන ගෙන යා යුතු බවයි. මහින්දත් දැන් අලුත් පක්ෂයක් හෝ බලවේගයක් ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්නේ නැත. බැසිල් නම් අලුත් පක්ෂයක් හදන ස්ථාවරයේම රුඳී සිටින බව පෙනේ. ඇහැලියගොඩ රුස්වීම ඒ අනුව ශ්‍රීලනිපයේ ඉදිරිය ගැන අනාවැකි පළකරන රුස්වීමක්ද විය හැකිය.


මේ ගැන පසුගියදා ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක ප්‍රබල විවේචනාත්මක අදහසක් ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කර තිබුණේ මහින්දත් තම සටන අත් නොහරින බවය. දිගටම එසේ වුවහොත් ශ්‍රීලනිපය දෙකට කැඩෙන බවද දෙකට කැඩෙන පක්ෂය ඊළඟ ඡන්දවලින් පරාජය වීම අනිවාර්යය බවද ඔහු කියා තිබුණි. මුලින් මුලින් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව දැඩි ස්ථාවරයක සිටි දුමින්ද දැන් එම ස්ථාවරයෙන් බැහැරව කෙළින්ම මහින්දට විරෝධය දක්වන බව පෙනේ. දුමින්දගේ කතාවලින් අදහස් වන්නේ මහින්ද සටන අත්හරින්නේ නම් ශ්‍රීලනිපය තුළ කැඩීම වැළැක්විය හැකි බවය. එසේ වුවහොත් ශ්‍රීලනිපයට යළි ජයග්‍රහණය කළ හැකි බවය. මෙය ඔහුගේ ස්ථාවරයද නැතහොත් ජනාධිපති මෛත්‍රීපාලගේත් ස්ථාවරය දැයි තවම පැහැදිලි නැත.
විග්නේෂ්වරන්ගේ “ජාතිවාදී විරෝධතාව* වශයෙන් දකුණු හඳුන්වන “එලගු තමිල්* මේ රටේ දේශපාලනය ඉදිරියේදී හසුරැවන ප්‍රධානම සාධකය වීමටත් බැරි නැතැයි එක් දේශපාලන විචාරකයෙක් කියා තිබිණි. එහි ඇත්ත නැත්ත පැවැසීමට තවම කල් වැඩිය.

I ශශීන්ද්‍ර
 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00